Monday, October 24, 2016

හිතුවක්කාර ආදරය - 33 කොටස


වැඩරාජකාරීන් සමග දවසින් දවස තප්පරයෙන් තප්පරය ගෙවී යද්දී දින සති මාස පිළිබඳව අදහසක් නොතිබූ තරම් උවද පියුමි මගේ සිත තුල වැඩි වැඩියෙන් සක්මන් කලේ මටත් හොරාවටමය. ඇගේ ආදරය ඇගේ සුවඳ මෙන්ම ඇගේ මතකයන්ම මා හට තදින්ම දැනෙන්නට වූයේ මා මෙහි තනී වි සිටි නිසා විය යුතුය. මගේ හිතට දැනෙන්නා වූ දුක කියන්න අම්මාවත් ළඟ සිටියානම් යන සිතිවිල්ල මගේ සිතේ දළුලා තුබුනේ ඇය සිටියානම් ඇගේ ඔඩුක්කුවට වී හිස තබා ගෙන සිටිය හැකි නිසාය. එසේනම් ඇය මගේ හිස අතගාමින් මට අවවාද කරනවා නොඅනුමානය.

පියුමි, වර්ණකුලසූරිය හා ඩුබාහි ජීවිතය යන තුනම සමබර කිරීමට අපහසු වූයේ පියුමිගේ මතකයන් තවමත් මගේ හිත කොනක ඉතිරි වී මා නොසිතූ ලෙස මසිත රිදවූ නිසාවෙනි. අවස්තා කීපයකදීම මේ රැකියාව අමතක කර නැවත යාමට අදහසක් මසිත තුල පැන නැගුනද මා ඒ සියලුම සිතිවිලි පාලනය කර ගත්තේ මේ රැකියාව නිසා මා ලබාගත් දේ බොහොමයක් නිසාය. නමුත් මා ඇයට පිටුපා ඇයව රිදවා ඇගෙන් වෙන්වී යාම මගේ යටි සිත කවදාවත්ම නොපිළිගත් නිසාදෝ ඇයව ඇමතීමට මම කීපවරක්ම උත්සහ කලද සියලුම අවස්තා සාර්ථක නොවුනේ ඇයිද යන්න මම නොදැනසිටියෙමි. මම ඇයට කොතරම් පෙම් කලත් ඇගේ ජීවිතයෙන් ඈත්ව සිටීම ඇයට කරනා සාධාරනයක් බව මම දැන සිටියෙමි. මක්නිසාද යත් ඇයට සැප සම්පත් පිරි ලස්සන පිරිසිදු ජීවිතයක් උරුම වූ නිසාය.



මා ඩුබායි ජීවිතය පැමින සිව්මසක් ගෙවී ගියේ මටත් නොදැනීමය. වැඩරාජකාරී බහුල වූ නිසා ගෙවෙනා දින ගනනය කීරීමට මතකයේ නොතිබූ තරම්ය. ගෙවුනු කාලය තුල තවත් මසිට කලබල කල එක කරුනක් වූයේ ගෙවුනු කාලය පුරාවටම වර්ණකුලසූරිය නිහඬව සිටීමත් මගේ සගයා වූ මොහොමඩ්ගේ ඇතිවූ දැඩි නිහඬ තාවයත්ය. අමිලගෙන්ද දුරකථන ඇමතුමක් ලබුනේ එකවතාවක් හෝ දෙවතාවක් පමණි. වැඩරාජකාරී බහුල වූ නිසාත් දෙසැම්බර් දෙවෙනිදාට යෙදී තිබෙන්නා වූ අරාබියන්ගේ නිදහස් දවස නිසා සන්විදානයකර තිබූ බාහිර වැඩකටයුතු නිසාත් ගෙවී ගිය කාලය තුල මා නිවසට කතාකල කාලය කතා නොකල තරම්ම වූ නිසා අමිල පිළිබඳ වැඩි තොරතුරක් අම්මාගෙන්ද අසා දැනගැනීමට මට නොහැකිවිය. මා නිවසේ නැති දා සිට අමිල දවසකට එක් වතාවක් හෝ මා නිවසට ගොස් අම්මා හා අනෙකුත් පිරිස සමග කතාබහ කල නිසා ඔවුනට මා නැති අඩුව එතරම්ම නොදැනෙන්නට ඇත. අමිලගේ තිබූ හොඳ ගතිගුන නිසාදෝ අම්මා අමිලට සැලකුවේ ඇයගේම පුතෙකු ලෙසය.

"හෙලෝ පොඩිමහත්තයා.. කොහොමද ඉතින්"
"මොහොමඩ්.. ඔයා මෙහෙ. කවද්ද ආවෙ. අසිස් දන්නවද"
"අසිස් දන්නවා. මම දැන් එහෙ තමා ඉන්නෙ. පොඩි මහත්තය එක්ක මට ටිකක් කතා කරන්න ඕන, තනියම"
"කොහෙද මනුස්සයෝ පහුගිය ටිකේ අතුරුදහන් වෙලා හිටියෙ"
"අපි ඒ ගැන කතා කරමු හමුවෙලාම පොඩි මහත්තයා"
"මම මේ පොඩි වැඩකට දේර වලට ආව. මම එනගමන් ඉන්නෙ. මෙටො එකේ එන්නෙ. ඒ නිසා ඉක්මනටම එන්න පුලුවන් ඔහෙට"
"අපි දෙන්න විතරක් කතා කලොත් හොඳයි නේද. අසීසුත් අද නිවාඩු දවස නිසා වයිෆ් එක්ක එලියට යන්න හදන්නෙ"
"හම්ම්.. ඒකත් එහෙමද. එහෙනම් මෙහෙම කරන්න, ඔයා අසීස්ට කියල පැනරෝම එකට ඩොප් කරගන්න. බියර් එකක් බොනගමන්ම කතාකරමු"

මොහොමඩ්ගේ හදිසියේ පැමීනීම මට ගැටලුවක් උවත් කුමක් හෝ ලොකු කලබලයක් සිදු වී තිබෙනා බව මට ඔහුගේ හඬින් තේරුම් ගැනීමට අපහසු නොවීය. මා ඔහුටද පැනරෝමාවට ඒමටයැයි පැවසුවේ අප දෙදෙනාට කතාකිරීමට සුදුසුම ස්ථානය එයයැයි මා සිතූ නිසාත් මගේ හිතේ විඩාව නිවා ගැනීමට මා යාමට පුරුදුවී සිටි එකම නිදහස් ස්ථානයද එය වූ නිසාය.

"කොහොමද මොහොමඩ් ඉතින්. සොරි ටිකක් වෙලා ගියාට. ඔතන ස්ටේෂන් එකෙන් බැහැල පයින් ආවෙ මෙතන්ට"
"ඒකට කමක් නැහැ පොඩි මහත්තයා. මම ඉතින් මේ ලස්සන කෙල්ලො ටික බල බල හිටියා"
"ඉතින් මොකද මේ හදිසියේම. කොහෙද පහුගිය ටිකේ ගිහින් හිටියෙ. මටත් කෝල් එකක්වත් දෙන්න බැරි උනා මොහොමඩ් මේ වැඩ හින්දා."
"ඒකට කමක් නැහැ පොඩි මහත්තයා. මම මේ හම්බෙලාම කතාකරන්න ආවෙ ෆෝන් වලින් මේව කතාකරන්න බැරි නිසා. අනික මට ගන්න පොඩි පොඩි බඩු වගයකුත් තියනවා. ඒකයි මේ හදිසියෙම ආවෙ, දැනුම්දීමක් නොකරම"
"හරි හරි.. මොකද අලුත්ම තොරතුරු. අපේ ප්ලෑන් එක වැඩ කලාද"
"ඒව හරියටම හරි පොඩි මහත්තය. අවසාන කොටසත් සැලැස්මට අනුව වෙයි. ඒත් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරන්න වෙයි. මොකද අපි හිතුවට වඩා තත්වය ටිකක් අවුල්."
"හම්ම්ම්. පියුමි හොඳින් ඉන්නවද මොහොමඩ්"
"පොඩි මහත්තය තවමත් හිතනව එහෙනම් ඒ ගෑණු ළමය ගැන"
"ආදරේ හැටී මොහොමඩ්.. ආදරේ හැටී"
"අමිලයි මමයි පියුමි ගැන හොයල බලනවා පොඩි මහත්තයා. එයා ගොඩාක් දුරට හොඳින් ඉන්නවා. ඒත් ඉතින් ඉස්සර වගේ හුරතල් පාට නැහැ. ටිකක් සුදුමැලි වෙලා ඇදිල ගිහිල්ලා. දඟකාරකම් නැහැ දැන්. එයා එයාගෙ පාඩුවේ වැඩටික කරගෙන ඉන්නවා. අයෙ එන්න පොඩි මහත්තයා. දැන් අවුලක්ම නැහැනෙ. දෙන්නම දෙපැත්තකට වෙලා දුක් විඳිනවට වඩා හොඳ නැද්ද ආයෙ ආදරෙන් ඉන්න එක. ඒ ගෑණු ළමය තරම් පොඩි මහත්තයට කවුරුත් ආදරේ කරන්නෙ නැති වෙයි"
"හම්ම්ම්.. අපි ඔය ගැන කලින් කතා කලා මොහොමඩ්. එයාට ලස්සන ජීවිතයක් උරුමයි. මම වගේ ජාවාරම් කාරයෙක් එයාට ... හම්ම්ම්ම්ම්"

වර්ණකුලසූරියගේ කතාවට තිත තිබීමට අසීස් මා හට පොරොන්දු වුවද එය මාගේ සැලැස්මකට අනුව මා මගේ සගයා වූ මොහොමඩ් සමග සිදු කලේ අසීස්ට වඩා ලෙන්ගතුකමක් හා විස්වාසයක් මා මොහොමඩ් කෙරෙහි තිබූ නිසාය. එය එසේ සිදුවූයේ කෙසේදයන්න මා නොදැන සිටි අතරම අපගේ සැලසුම සාර්තක කර ගැනීමට මගේ මිතුරා වූ අමිලගෙන්ද ලැබී තිබුනේ නොඅඩු සහයකි. මගේ පළමු ආදරය් වූ ඉමාෂා මෙලොවින් සමු ගත් මොහොතේ ඇගේ තාත්තා, එනම් වර්නකුලසූරිය මහතා මා හට ඔහුගේ නිවසේ යතුරක් ලබ දුන්නේ ඔහුගේ නිවස රැකබලාගන්නා ලෙස ඔහු මෙරටින් පිටවෙන අවස්ථාවේදීය. මා එහි තවත් යතුරක් කපා මගේ අල්මාරියේ තැම්පත් කලේ වැරදි සිතකින් නොව මාගේ අතින් බැරිවෙලා හෝ වර්නකුලසූරිය මහතා දුන් යතුර නැතිඋනොතින් ප්‍රයෝජනයට ගැනීමටය. නමුත් එදා ඒ යතුරු දෙකෙන්ම මා ප්‍රයෝජන නොහත්තත් මා නැවත ඔහුට ඔහුගේ යතුර බාරදුන්නේ ප්‍රධාන යතුරෙහි අනුරුව මා නිවස තුලම සඟවාගනිමින්ය.

අපගේ සැලසුමට අනුව අමිල මාගේ නිවසේ මගේ කාමරයට ඇතුලුවන්නේ මා පෙර සඳහන් කල යතුර ගැනීමට සටහන් පොත් කීපයක් සොයා ගැණීමේ අරමුනින් වූ අතරම එදා මා එලෙස සඟවා තිබූ යතුර අද වර්ණකුලසූරිය මහාතාටම විරුද්ධව යොදා ගැනීමට මම කවමදාවත් තප්පරයකදිවත් නොසිතුවෙමි. එලෙස යතුර ලබා ගැනීමෙන් පසු සැලැස්මට අනුව අමිල හා මොහොමඩ් දෙදෙනාම එම නිවසට ඇතුලුවනුයේ කිලෝ ග්‍රෑම් දොළහක් පමන වූ මත්ද්‍රව්‍ය ක්‍රමානුකූලව එහි සඟවා තැබීමටය. එයද ඔවුන් සාර්තකව නිම කර තිබූ අතර සැලැස්මේ ඊළඟ පියවරට අනුව මොහොම්ඩ් විසින් මත්ද්‍රව්‍ය වැටලීම් අන්ශයට ඔත්තුවක් ලබා දෙන්නේ වර්ණකුලසූරිය මහතා මෙතෙක් ගොඩ නැගූ ඔහුගේ නාමයට කැලලක් එකතුකර ඔහුව බන්දනාගාර ගත කරමින්ය. නමුත් ඔහුව අප උපකල්පනය කල ස්ථානටය නොදැමූ නිසා අපගේ සැලසුමේ අවසානය සනිටුවහන් කිරීමට තරමක් අසීරු වී ඇත. නමුත් මොහොමඩ් පැවසූ පරිදි ඔහු එයටද පිළියමක් යොදා තිබූ අතරම බන්දනාගාරය ඇතුලතදීම ව්‍යාජ කලබලයක් ඇතිකරමින් එම කලබලය අතරතුර ඔහුව මරා දැමීමට සැලසුම් කර තිබුනි.

මොහොම්ඩ් පියුමි පිළිබඳව පැවසූ දේ නිසා මගේ හිත නැවතත් පෑරූ අතර මා තවමත් ඇයට පෙරසේම ආදරේ කරනවායැයි මට ඒත්තු ගැන්විය. හිතට දැනුනු ඒ ආදර සිතිවිලි සමග මා මොහොතකට පියුමිගේ මතකයන් තුල කිමිදුනේ ඇගේ මතකයන් තවමත් මගේ මේ අවිවේකී සිතට භාවනාවක් වූ නිසාවෙනි. මා හා ඈ අත් පටලන් එහේ මෙහේ ඇවිදගිය හැටි, ඇගේ දඟකාරකම්, නැවතීමක් නැති කියවිල්ල හා ඇගේ දෙතොල් එකිනෙක සිහිය නැගෙද්දී මා නෙතඟට මටත් හොරාට නැගුන කඳුල බිම වැටීමට ඉඩ නොදී පිස දා හැරීම මිසක, මා හට කීරීමට දෙයක් නොතිබුනු තරම්ය. එමෙන්ම බොහෝ අවස්තාවන්හි ඇගේ මතකයන් මකාදැමුවේ හැමදාමත් මගේ තනියට මගේ ළඟ සිටි ජැක් ඩැනියල් මිත්‍රයා පමනි. නන්නාදුනක රටක තනිවූ වෙලාවක ඇගේ ආදර මතකයන් පෙරලා මා රිදවනවිට ජැක් ඩැනියල් මිත්‍රයාට මාගේ සියලුම වේදනාව හා ජීවිතය ම බැර කරද්දී ඔහුටද හැකිවූයේ මා හට තාවකාලිකව විසඳුමක් දීමට පමනි.

"හෙලෝ.. කව්ද මේ.. හෙලෝ කව්ද මේ, ඇයි කතා කරන් නැත්තෙ"
"හම්ම්ම් .."
"පියුමි .. පියුමි ඔ.. යා"
"කොහොමද දිනුක අයියා. අනේ ඔයාට මාව මතක් වෙන්නෙම නැද්ද. මෙච්චර ආදරේ කරලත් ඔයාට දැනෙන් නැද්ද දිනුක අයියා"
"ඔහොම කතා කරන්න එපා පියුමි. කොහොමද මගෙ නම්බර් එක හම්බුනේ"
"මට සමාවෙන්න දිනුක අයියා. අමිල අයියගෙන් මම ඉල්ල ගත්තෙ. ඔයාට ටිකක් කතා කරන්න හිතුන හින්දා. මොකද මම හිත හදාගන්නම් ඔයා හොඳින් ඉන්න කියන්න. ඒත් ඔයාගෙ හඬ අහපුවහම මට .. හම්ම්ම්ම්..."

නොසිතු මොහොතක නොසිතූ දවසක ඇගෙන් ලැබුනු දුරකථන ඇමතුම නිසා මගේ හුස්ම පොද පවා මොහොතකට නැවතුනේ මාගේ අවසරය නොමැතිවමය. ඒ දුරකථන ඇමතුමත් සමග නොයෙකුත් දේ මා සිතු තුල ඇතිවුවද මා ඒ ඇමතුම වචන කිපයකට සීමා කලේ මා තවදුරකට නොයා යුතුයැයි සිතූ නිසාය. විනාඩි කීපයක් පමන මා මගේ කාමරයට වී කල්පනා ලොවක තනිවීමෙන් අනතුරුව සුපුරුදු නවාතැන වූ පැනරෝමාව පසුකරමින් යොර්ක් රාත්‍රී සමාජ ශාලාව වෙත ඇදුනේ මගේ හිත වෙනසකට ඇලුම් කල නිසාය.

වෙනදා මෙන් නොව තරමක් රෑ වනතුරු මා යොර්ක් හි කාලය ගතකල නිසා උදයේ මා අවදිවන විටද හිසට බරගතියක් දැනෙන්නට වූ අතර මා ඊයෙ නැවත පැමිනියෙ කෙලෙසදැයි යන්නද මගේ පැහැදිලි මතකයක් මා තුල නොවීය. ඇඟට දැනුනු අමාරුව මැකීයන්නත් එක්කම උණුවතුරින් නා ගත් මම අසීස්ගේ බිරිඳ පිළියල කර තිබූ උදේ ආහාරය රූපවාහිනිය නරඹන අතරතුර නිහඬව රස වින්දේ මට අද දින නිවාඩු දිනයක් වූ නිසාය.

"මේ නැගිටල ඉන්නෙ. අමාරුවක් නැහැනෙ. ඊයෙ හොඳටම සිහියක් නැහැ දිනුකට. ඔයා එක්කන් ගිය ඩ්‍රයිවර් මට කෝල් කලා. පස්සෙ මම ගිහින් තමා ඔයාව අරන් ආවෙ. මම දැකලම නැහැ දිනුක ඒ වගේ ඉන්නවා"
"මට සමාවෙන්න අසීස්. අලුතින් අඩියක් තියනව කියල හිතාගෙන තමා ඊයෙ යොර්ක් එකට ගියෙ. ඒත් ටිකක්"
"ඒකට කමක් නැහැ දිනුක. ඒත් ආයෙ යනවනම් රාමදා එකේ තියන රූමස් එකට යන්න. මගෙ යාළුවො ඉන්නෙ. ඔයාට ආරක්ෂාවකුත් තියනවනෙ. ඒක නෙමේ මොකද මිනොහො ඔය ජීවිතෙන් පලිගන්න හදන්නෙ. මොකද්ද අවුල. පියුමිද"
"ඒ කෙල්ලව අමතක කරන්න බැහැ අසීස්. හම්ම්ම්. මගෙ ජීවිතේම බෙට් කරල මන් ආදරේ කලේ ඒ කෙල්ලට. ඒත් අන්තිමේදි .. හම්ම්ම්"
"පියුමි ගැන පස්සෙ අපි කතා කරමුකො. ඉස්සෙල්ල මෙන්න මේ පත්තරේ බලල ඉන්නකො"

ඔහු එසේ පවසමින් ඔහු අතැතිව තිබූ සින්හල පත්තරය මා අත මත තබමින් සෝෆාව මත හිඳ ගත්තේ තරමක ආඩම්බර ගතියකිනි. එහි තිබූ සිරස්තලය දැකීමෙන් මමද විස්මයකට අ පත් උනෙමි. මක්නිසාදයත් එහි සටහන්ව තිබුනේ වර්ණකුලසූරිය මහතාගේ මරණය පිළිබඳ වූ පුවත නිසාවෙනි. රටක ආදරය දිනාගත් වීර සෙබලෙකු වූ ඔහු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට වරදකරුවෙකු වූ නිසා ඉකුත් දා බන්දනාගාර ගතකල තිබූ ඔහු බන්දනාගාරයේදී සිරකරුවන් අතර ඇතිවූ හදිසි ගැටුමකදී සිදුවූ පිහි ඇනුමකින් මිය ගිය බව එම විස්තරයෙහි තවදුරටත් සඳහන් විය.

අපගේ සැලසුම අනුව සියලුමදේ හරි ආකාරව සිදුවී ඇති නිසා ජයග්‍රහනයේ සතුට නිහඬව මම වින්දේ එය මට උරුම දෙයක් වූ නිසාවෙනි. පියුමිගේ මතකයන්ගෙන් පීඩා විඳි සමයක ලැබුනු මෙම ආරන්චිය නිසා තරමක් සැල්ලුබවක් දැනුනමුත් හිතට සැලකිය යුතු තරමට දුකක් දැනුනේ වර්ණකුලසූරිය මහතා පෙර දිනකදී මා ආදරය කල ඉමාෂාගේ පියා වූ නිසාය. මක් නිසාදයත් ආදරයක් නොදැනුනු සෙල්ලක්කාර ජීවිතයකට ඉමාෂාගෙන් ලැබුනු දේ බොහෝ නිසාය. එමෙන්ම ආදරයේ අයන්න කියා දුන්නේ ඇය වූ නිසාය.

කරුණු කාරානා මෙසේ සිදුවෙද්දී මගේ සිත කැලඹූ අනෙක් කරුන වූයේ මා හට අසීස් ගෙනා යෝජනාව විය. එනම් පියුමිව මෙහි රැගෙන එන ලෙසය. සැලකිය යුතු මාසික වැටුපක් සහිත රැකියාවක් මා සතුව තිබූ නිසා ඇයව ගෙනවිත් රැක බලා ගැනීම මට අපහසු කාර්යයක් නොවීය. දිනෙන් දින මා සුරාවට ඇලුම් කිරීම නිසාත් ඇගේ ආදරෙයේ මතකයන් සමග ගෙවන ජීවිතය නිසාත් අසීස් මෙමෙ යෝජනාවම මා වෙත ගෙන ආ බව ඔහු පැවසුවේය. මමද එම යෝජනාව පිළිබඳව සැලකිලිමත්ව සිතා බැලුවේ ඇයව මගේ මතකයන්ගෙන් ඉවත්කල නොහැකි නිසා හා මොනදේ පැවසුවත් මොනදේ කලත් මා තවමත් ඇයට ආදරය කල නිසාය. එමනිසා නැවතත් ඇයව බැලීමට යාමට අදහස්කල මා, අසීස් පැවසූ පරිදිම මා මගේ ආයතනයට කාරනා පැහැදිලි කර දුන් පසුව හදිසි නිවාඩු නොගොස් වැඩකරන දිනයන්ගෙන් දින විසි එකක නිවාඩුවක් මට ලබා ගැනීමට අපහසු නොවූයේ මා මගේ කාර්යාලය තුල හොඳ නාමයක් ගොඩනගා තිබූ නිසාවෙනි.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Wednesday, October 19, 2016

හිතුවක්කාර ආදරය - 31 කොටස


කාලය හෙමින් හෙමින් ගෙවී යද්දී අපේ ගෙදරද නොදැනීම නිහඬ බවෙන් පිරී ගියේ මගේ විදේෂ ගතවීම නිසා අම්මා කනගාටුවෙන්සිටි නිසා විය යුතුය. මගේ ඇඳුම් පැලදුන් පිලිවෙලකට නමා බෑගයකට අසුරා තිබුනේ ඇයම වූ අතර ගෙවුනු දවස් කීපයේම අම්මා මගේ ළඟට විත් මට නිදිමත එනතුරු මගේ හිස අතගෑවේ ඇගේ දෙනෙති කඳුලු මට නොපෙනෙන ලෙස පිසදමමින්ය.

"මම නම් උඹ යනවට කැමති නැහැ දිනුක..මම කියන්නෙ උඹ ෆයිනල් ඉයර් එකක් ඉවරම කරල යන්න කියල බන්."
"ම්ම්ම් මටත් නොතේරෙනව නෙමේ රොෂෙන්. ඒත් මේ ගමන මට යන්න වෙනනවා මචං."
"උඹ ගියාම අපිට තමා බන් පාළු. බියර් එකක්වත් ගහන්න හවසට කවුරුත් නැති වෙනවා. අනික බන් උඹ ඉන්නකම් අපේ උන්ටික එකට හිටියා."
"ඒකනම් ඇත්ත ඩිලා, දිනුක ඉන්නකම් කට්ටිය එකට හිටියා. දැන් දිනුකය ගියාට පස්සෙ මුන්ව හොයන්න දැල් දාන්න වෙයි"
"එහෙම හිතන්න එපා බන්. මන් මේ යන්නම යන්න හදන ගමනක් නෙමේනෙබන්. උඹල සේරම ඩිග්‍රි එක ගොඩදාල ටයි කෝට් දාල ලොකු තැන්වල ඉඳපල්ල මම ආයෙ එනකොට"



මගේ මේ හිටිහැටියේම නික්මයාම නිසා මගේ පවුලේ සමාජිකයන්ටත් වඩා මගේ මිතුරන් පිරිස දැඩි කනස්සල්ලෙන් පසුවූයේ මා ඔවුනට ඉතා හොඳ මිතුරෙකු වූ නිසා විය යුතුය. ඔවුනට බොරු හේතු මවා දුන්නාට මගේ මේ ගමනේ නියම අරමුණ ඔවුන් දැන සිටියානම් ඔවුන්ගේ ප්‍රතිචාරය වෙනස්වනවා නොඅනුමානය.

"ඒක නෙමේ දිනුක, දැන් පියුමි මොකද කියන්නෙ"
"පියුමි තාම දන්නෙ නැහැ රොෂෙන්"
"මොනවා.. උඹ විහිලු කරනවද.."
"මට එයාට කියාගන්න බැරිව හිටියෙ. අද මම කියනවා කොහොම හරි"
"අනේ මන්දා බන්. උඹට මම අර දවසක් කිව්ව වගේ උඹ මාර විදිහට ලයිෆ් එකේ තීරනගන්නවා බන්. ඒ ගන්න හැම තීරනයකටම සාධාරණයක් කරන්න උඹට තියෙන්නෙ මාර කන්ෆිඩන්ස් එකක්. හැබැයි ඒ තීරන ගොඩක් දෙනෙක්ගෙ හිත පාරවනව"

මට උඹලගෙන් යන්න ඕනකමක් නැහැ රොෂෙන්, මම තනිවෙලා ඉන්නකොට මගේ ජීවිතේට ලන් වෙලා ආලෝකයක් දුන්න යාළුවො සෙට් එක තමා උඹල. අනික උඹල කියන තරම් මට කන්ෆිඩන්ස් තියනවද දන්නෙ නැහැ, ඒත් මම මේ යන්නෙ උඹල එක්ක තිබ්බ ඒ යාලුකම රැකගන්න, යැයි මට ඔවුනට පැවසීමට සිතුවද කිසිවක් නොපවසා මද වේලාවක් නිහඬව සිටියේ ඔවුනට දියහැකි හොඬම පිළිතුර මගේ නිහඬබවයැයි මා සිතූ නිසාවෙනි.

මගේ නිහඬ බව මගේ මිතුරන්ට ගැලපෙන්නා වූ පිළිතුර යැයි මා සිතූවද පියුමිට එය එසේ නොවන නිසා ගෙවුනු දවස් කීපයතුල මට කියාගැනීමට අපහසු වූ දේ මම පියුමිට කීවේ ඇයවද පුදුම කරවමින්ය. ඇය හදාරා අවසාන කල පාඨමාලාවේ අවසාන ඇගයීම් කීපය බාරදීම සඳහා ඇය පාසල් නොගොස් අප ආයතනයට පැමින ඇත. මා ඇය හා කතාකල අවස්තාවේ සමහර වචන මගේ මුවට නොපැමිනියේ ඇයිදැයි මම නොදැන සිටියෙමි. මගේ මුවගින් වචන එක පිට එක පිටවී යනවිට ඇය නිහඬව අසා සිටියමුත් ඇගේ දෙනෙතින් කඳුලැලි ගලාගියේ ඇයටද පාලනයකින් තොරවය. වරක් දෙවරක් ඇගේ අතින් අල්ලා මා ඇයව සැනසීමට උත්සහ දැරූවද එයද නිෂ්ඵල කාර්යයක් වූයේ ඇය එය වැලකූ නිසාය. ඇයව ඇල්ලීම ඇය ප්‍රතික්ෂේප කරනාවිට මගේ හුස්ම මොහොතකට නැවතුනා මෙන් මට දැනුනු අතර ඇය ඉදිරියේ කඳුලක්වත් නොහෙලා දැඩි සිතකින් මා සිටියේ කෙලෙසදැයි මම නොදැනසිටියෙමි.

"ඇයි මේ.. ඇයි ඔයා මාව දාල යන්නෙ. ඇයි මේ කෙල්ලට මෙච්චර ගින්දරක් දෙන්නෙ. මොකද්ද මම ඔයාට කල වැරැද්ද.. කියන්න ... මට කියන්න දිනුක අයියා"

වරක් දෙවරක් මගේ පපුවමතට වැරෙන් පහරවල් කීපය එල්ල කල ඇය ඒ පපුවටා තුරුළු වී පොඩි ළමයෙකු මෙන් ඇඬුවේ ඇය සිටිනා ස්තානය පිළිබඳවද අවබෝධයකින් තොරවය. අප ආයතන්යේ දෙමාපියන් සඳහා වෙන්කර තිබූ ස්ථානයේ අප සිටි අතර අප දෙදෙනාව දර්ෂනය වූයේ මගේ මිතුරන්ට පමනක් විය. කවුරුන්හෝ පැමිනේවිදෝයැයි මගේ මිතුරන් සැලකිලිමත්ව සිටි අතරම මම ඇගේ දුක තුනීවන තෙක් මා ලඟට වී ඇඬීමට අවසර දුන්නේ මා තුල තිබුනාවූ එම නිහඬතාවය මා තවදුරටත් ආරක්ෂා කරමින්ය.

"අඬන්න එපා පියුමි.. හොඳ ළමය වගේ අහන්නකො මම කියන දේ"
"මම හොඳ නැහැ.. මට ඔයාගෙ ඔය කතා අහන්න ඕන නැහැ. යන දිහාවකට මාවත් අරගෙනම යන්න.. අනේ මාව දාල යන්න එපා අයියා. මාව තනිකරල යන්න එපා. කොහොමද මම ඉන්නෙ. මම මැරේවි"

එසේ පවසමින් නැවතත් ඇය හඩා වැලපෙන්නට වූ අතර මගේ දෙනෙතද කඳුලින් තෙත්කරමින්ය. ඇගේ මේ ඇඬියාව නිසා මම මහත් අපහසුතත්වයකට පත් වී සිටි අතර අප පන්තියේ අප හා සිටි ගැහැණු ළමයින් දෙදෙනෙක් වන සසන්කා හා හසිනි පියුමිව සැනසීමට ඇය අසලට පැමීනියද මා ඔවුන්ට නැවත යාන්නයැයි පැවසූවේ පියුමි මගේ පපුවට තුරුලු වී සිටිනා අවසාන මිනිත්තු කීපය නිසාවෙනි. මගේ මිතුරියන් දෙදෙනාගේද ඇස් කඳුලින් පිරී තිබූ ඇතර ඔවුන් මා හා තිබූ තරහව ඔවුන්ගේ ඇස් වලින්ම මට වටහාගත හැකිවිය.

"හොඳ ළමය වගේ අඬන් නැතිව මෙතනින් ඉඳගන්න. අපි කතාකරමු.. "
"ඔයා කොහොමද දිනුක අයියා මගෙන් යන්න හිතුවෙ. මෙහෙම තනිකරල දාල යන්නද මට ඔච්චරටම ආදරේ කලේ. මාව තුරුල්කරන් මට බත් කැව්වෙ, තුරුල්කරන් මාව සිපගත්තෙ මේ විදිහට මාව දාල යන්නද දිනුක අයියා.. කියන්න මට. කතාකරන්න ඉතින් නිහඬව ඉන්න එපා.. ඔයාමනෙ කිව්වෙ දැන් කතාකරමු කියලා. මන හොඳ ළමයෙක් වෙලා අඬ්න්නැතිව ඉන්නම්. කියන්න ඉතින්, මේ පුංචි කෙල්ලව රිද්දන්න හිතුවෙ කොහොමද කියලා"
"මම ඔයාව රිද්දවන්න හිතුවෙ නැහැ පියුමි. ඒත් මට යන්න වෙනවා. මට සමාවෙන්න ඒකට"
"ඔයා මට යන්න දෙන්න බලාගෙනද ඒ කියන්නෙ ආදරේ කලේ.. කියන්න"
"මට තේරෙන්නෙ නැහැ ඔයාට කියන්න පියුමි. මම ඔයාට ආදරේ නැතුව නොවේ. ඔයාට හොඳින් ඉන්නනම් මට ඔයාගෙන් යන්න වෙනවා පියුමි. ගොඩක් ඈතකට යන්න වෙනවා"
"ඔයා නැතිව මම කොහොමද හොඳින් ඉන්නෙ දිනුක අයියා. අනික ඔයාට කවුරු හරි වෙනකෙනෙක් හම්බුනාද. අනේ එහෙමනම් කියන්න, මම එයාගෙ කකුල් අල්ලල වඳින්නම්, වැඳල ඔයාව ඉල්ලන්නම්. ඔයාව මගෙන් උදුරගන්න එපා කියන්නම්"
"එහෙම දෙයක් නැහැ පියුමි. මේ හිත ඔයා එනකම් ගොඩක් තනියෙන් හිටියා. තවමත් මේ හිත ඔයාට ආදරෙයි."
"ඉතින් එහෙනම් ඇයි මේ. ආදරේනම් ඇයි මෙහෙම මාව තනිකරන්නෙ"
"ජීවිතේ අපි දකින හැම හීනයක්ම අපිට ඕන විදිහට පාට කරන්න බැහැ පියුමි. ඒ වගෙම සමහර හීන තියනවා තමන් ආදරේ කරන අය වෙනුවෙන් අමතක කරන්න වෙන ඒවත්."
"එතකොට ඒ අමතක කරන හීනයක්ද මම"
"එහෙම කියන්නෙ නැහැ පියුමි. ඔයාව මට අමතක කරන්න බැරි වේවි මගේ මේ ජීවිතේටම. මට සමාවෙන්න කියල කියන්නම් ඔයාට මම. ඒ වගේම හොඳින් ඉන්න කියලත් ඉල්ලන්නම් මම. ඔයා හොඳ ජීවිතයකයට උරුමක්කාරියක් පියුමි. ඒක ඔයාට ලැබිය යුතුම දෙයක්. ඔයාගෙ ජීවිතේ දැකපු ලස්සනම හීනයක් කියල හිතන්න මාව, ඔයාට කවදාවත්ම ලස්සනට පාටකරන්න නොලැබුනු."
"අනේ ... ඔහො .. ම ....."
"මම යන්නම් පියුමි. මට ඒකට අවසර දෙන්න. මම දන්නවා ඔයා හිත හදාගනීවි. කවදාහරි දවසක ඔයාට සමහරවිට වැටහේවි මම ඔයාගෙන් ඈතට ගිය එක හොඳයි කියලා. අන්න එදාට මට තප්පරයක්වත් වෛර කරන්න එපා. ඒ වගේම අවසායේ එකම එක දෙයක් ඉල්ලන්නම් මට එහෙම ඉල්ලන්න අවසර නැතත්. හොඳින් ඉන්න්. කවදාවත් ඔයාට වරදින් නැහැ. ඒ වගේම ඔයා ඔයාගෙ ගමන යන්න, මම වෙනුවෙන් ඉන්න එපා බලාන."

නැවතීමක් නොමැතිව ඇගේ දෙනෙතින් කඳුලැලි ගලා යද්දී ඇයව සැනසීමට හා ඇගේ ඇඬියාව නැවතීමට මගේ මිතුරියන් දෙදෙනාටම මහත් උත්සහයක් දරන්නට විය. මගේ සියළුම මිතුරන් මා නපුරෙකු ලෙස මා දෙස නෙත්යොමා සිටියෙදී අඩියට දෙකට මම එම ස්ථානයෙන් පිටත්ව ගියේ ඇය දෙස නොබලාමය. මගේ පණිවිඩය මත මොහොමඩ් මා රැගෙනයාමට ඔහුගේ කාරයෙන් පැමින සිටි අතර අප දෙදෙනාම එම ස්ථානයෙන් ඉතා ඉක්මනටම නොපෙනී ගියේ මතකයන් රැසකට උරුමකම් කියමිනි. එමෙන්ම සියලුම දෙනාගේ සිත තුල පිළිතුරු නොලැබෙනා වූ ගැටලු රාෂියක් ඉතිරි කරමිනි.

"මොකද උනේ පොඩි මහත්තයා.."
"ඒක මම හිතපු තරම් පහසු උනේ නැහැ මොහොමඩ් .. මම ඒ කෙල්ලට .."

නොසිතූ වෙලාවක මගේ දෙනෙත කඳුලින් බරවූ නිසා මට මගේ මුවින් පිට වූ ඒ වචන කීපය හරි ආකාරව සම්පූර්ණ කිරීමට නොහැකි විය. පියුමිගේ මතකයන් රැඳි හැම පාරකම, හැම ස්ථානයකටම මොහොමඩ් මා රැගෙන ගියේ මගේ ඉල්ලීම නිසාය. එමෙන්ම මොහොතකට මුහුදු තීරයෙහි අප කාරය නවතා මා තනිවම විනාඩි කීපයක් එහි ඇවිද ගියේ පියුමිගේ ලස්සන මතකයන් පිරි ස්ථානයක් නිසාත් අප අවසාන වරට හමුවී පෙම්බස් දෙඩූ ස්ථානය මෙය නිසාත් මා නැවත මෙම ස්ථානයට නොපැමිනේසිදෝ යන සිතුවිල්ලත් මා සිත තුල තිබූ නිසාත්ය.

"පොඩි මහත්තයා, ඔයා එන්න ආයෙමත්. පොඩි මහත්තයට බැරි විවි ඒ ගෑණු ළමය නැතිව ඉන්න"
"ඒකනම් ඇත්ත තමා මොහොමඩ්. ඒ තරමටම මම ආදරෙයි ඒ කෙල්ලට. හම්ම්ම්ම්.. ඒත් මට බැහැ මොහොමඩ් අපේ ජීවිත අවදානමක දාන්න. අපි ප්ලෑන් කරපු වැඩේ ඉවර කරල දාමු. නැතිනම් මට කවමදාවත් ආයෙ ආදෙරේ කරන්න බැරි වෙයි"

මට විදෙස්ගත වීමට තවත් දවස් හතරක් පමණ තිබුනද, මා හට කලින් පැමිනීමට ඉල්ලා විද්යුත් තැපෑලෙන් පනිවිඩයක් එවා ඇතැයි මම මගේ නිවසේ අයට පැවසූ අතර මාගේ ගුවන් ගමන අනිද්දා පාන්දරට සකසා දීමට මොහොමඩ් වෙහෙසූයේ මාගේ දැඩි ඉල්ලීම නිසාය. අමිලට පමනක් මගේ පිටව යාම මා පැවසූ අතර ඉතා සුලු කාලයකින් ඔහු අප නිවසට පැමිනියේ මගේ ගමනට අවෂයය දේ සකසාදීමටමුත් අම්මා විසින් ඒ සියලුම වැඩ පිලිවෙලකට නිමකරතිබුනේය.

"යාළුවා ඔයා ගියාට පස්සෙ පියුමි මාර විදිකකට ඇඬුවා බන්. මම හිතුවෙ නැහැ උඹ එහෙම එක පාරටම යයි කියලා"
"මට තවත් එතන ඉන්න තරම් ශක්තියක් තිබුනෙ නැහැ අමිල. ඒකයි මම ඉක්මනටම ආවෙ. ඒ කෙල්ල හිත හදාගනීවි බන්. එහෙම නැති උනොත් කවදා හරි මම ඒ කෙල්ල වෙනුවෙන් එන්නම්"
"යාලුවා මට තේරෙන් නැහැ උඹව. ඒ කෙල්ල අඬල අඬල හෙම්බත් උනා බන්. මම තමා ගෙදරට ගිහින් දැම්මෙ පියුමිව. මම යනගමන් පුලුවන් තරම් හිත හැදුවා. මම හිතුවෙ නැහැ බන් ඒ කෙල්ල එච්චරටම උඹට ආදරේ කරාවි කියලා."
"මටත් ඔය දුක නොදැනෙනවාම නෙමේ අමිල, නොදැනුනාවගේ ඉන්නවා. හම්ම්"
"යාළුවා, පරිස්සමට ගිහින් වරෙන් එහෙනම්. මමයි මොහොමඩුයි මෙහෙ වැඩ බලාගන්නම්. කරන දෙයක් පරිස්සමෙන්. යාළුවා, ඔයාගේ රහස් හැමදාම මගේ ලඟ රැකිල තියේවි. අනික ආපහු වරෙන් මේ යාළුවා වෙනුවෙන්වත්. හැමදේම හොඳින් උඹ හිතපු විදිහටම වෙන්න ඕන කියල මම පතන්නම්."



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...