Tuesday, December 22, 2015

හිතුවක්කාර ආදරය - 30 කොටස


"දිනුක අයියා.. අනේ මේ බලන්නකො ලස්සන සමනළයෙක්. අනේ මටත් ආසයි ඒ වගේ ලස්සන අත්තටු දෙකකට. ම්ම්ම් අපේ පැත්තට කොහෙන්ද මෙච්චර ලස්සන සමනළයෙක්. පාර වැරදිලා අතරමන් වෙලාවත්ද.අනේ එහෙම උනොතින් පව් නේද"
"හම්ම්ම්"
"මොකද අනේ හම් හම් ගාන්නෙ. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් ගතියක් නැහැ දිනුක අයියා. බලන්න නිල් අහස ඈත මුහුද එක්ක ලස්සනට කතාකරන හැටි, මුහුදු රළ තාලයකට නැලවෙන හැටි, ඒ විතරක්ද අපි දෙන්නව බලන්න ආව මේ ලස්සන සමනළයෙකුත් ඉන්න්කොට ඔයා ඔහේ ඉන්නවා. ආදරේ කරන්න රොමැන්ටික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙද්දි ඔයා දුෂ්ටයෙක්ගෙ චරිතයක් කරන්න හදනවා. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් එකක් නැහැ අනේ"
"මම දුෂ්ටයෙක් වෙමි. මොකද කියන්නෙ ඒ අදහස ගැන මගෙ රොමැන්ටික් කෙල්ලෙ"
"ආ..ඇත්තද.. අර කෙවින් වගේ වෙන්නද කල්පනාව"
"ඔව්. ඔයා කැමතිද"
"ඔයා දන්නවද එහෙම උනොත් මම ඔයාට කරන දේ. ඔයාව මම පොලිසියට අල්ලල දෙනවා. දීල ඔයාව හිරේ තියනවා අවුරුදු ගානක්. හැබැයි ඔන්න මම ඔයා එනකම් ඉන්නවා බලාගෙන හරි."



අසම්මත වූ රිද්මයකට හා සමාජ මූලධර්ම වලින් මදකට එහා ගිය පදනමක් තුල මා ජීවිතය හැඩගැහැද්දී ඒ සියලුම දේ සම්මත තත්වයකට ගෙන ඒමට කොතරම් උත්සහ දැරූවද මා හට එය එතරම්ම පසසු නොවූයේ මා ඒ සියලු සම්මතයන් හා මූලධර්මයන් මේ වනවිටද බිඳතබා තිබූ නිසාවෙනි. එම නිසා ඉතා ලෙහෙසියෙන් කිසිවක් නොවූ ගානකට මට මගේ ජීවන ගමන ඉදිරියට ගෙනයාමට අපහසුය. වර්ණකුලසූරිය මහතා පැවසූ ආකාරයට මා හට අලුත් මාර්ගයක යාමට අපහසු වූයේ ඒ නිසාවෙනි. එමෙන්ම ඔහු පැවසූ පරිදි ඉතිරිව ඇත්තේ එකම එක දෙයකි, එනම් පියුමිට යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කිරීමය.

"මොකද දිනුක අයියා ඔයා අද නිහඬ.. අසනීපයක්වත් ද.. නැත්නම් මම කියවනව වැඩියිද"
"අනේ එහම දෙයක් නැහැ පියුමි. මම ඉතින් ඔයා කියවන දේ අහගෙන හිටියා."
"සමහර වෙලාවට මම මේ කියන දේවල් ඔයාට විකාර වගේ ඇති. ඒත් ඉතින් කරන්න දෙයක් නැහ්. ඔයාට අහගෙන ඉන්න වෙනවා. මොකද මට ඔයා විතරනෙ ඉන්නෙ මේව කියන්න. අනික මම ඔයා ගාවට වෙලා ඉන්නකොට මගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා."
"මටත් එහෙම තමා පියුමි. ඒක නෙමේ මම පොඩි දෙයක් අහන්නද. මම මේ නිකමට වගේ අහන්නෙ. වැඩිය සීරියස් ගන්න එපා හරි"
"මොකද්ද අයියා.. අහන්නකො බලන්න"
"මම ඔයාගාවින් යන්නම යන්න ගියොත්...."
"මොකද අනේ ඔයාට මේ අද වෙලාතියෙන්නෙ. විකාර දොඩවන්නෙ. ඔයාට මගේ ගාව ඉන්න බැරිනම් යන්න. හැබැයි මේ කෙල්ලව රිද්දපු පව ඔයාට ආත්ම ගනනාවක් යනකම්වත් ගෙවල ඉවරකරන්න බැරිවෙයි හරි"

ඇය එසේ පවසා අවසන් වීමට කලියෙන්ම ඇගේ දෙනෙතින් කඳුලු කැට වැටුනේ මගේ හිත තව තවත් පාරමින්ය. මා කියූදේට ඇගෙන් සමාව ඉල්ලූ මා ඇයව මගේ තුරුලෙහි සඟවාගෙන නිහඬව සිටිය අතර මගෙ දෙනෙතින් ගිලීහී ගිය කඳුලු බිඳු කීපයක් මාගේ දෙකොපුල මත වැටුනද ඒ කඳුලු බිඳු කීපය ඇයගෙන් සැඟවීමට මට හැකිවිය. සෑම රජවරයෙකුගේ කාලය අවසන් වනවා සේ මගේ කාලයේද අවාසානයට ලඟාවී ඇති බව මා දැනුනද එයට හෙතුව මම නොදැන සිටියෙමි. නමුත් මා ආදරය කල මේ දඟකාරිය මා නිසා විනාසවනවා දැකීමට මා අකමැතිවූයේ මා මෙන් නොව ඇයට පැහැදිලි ගමනක් තිබූනිසාය. මා සිටිනා තත්වය තුල ඇගෙන් වෙන්වයාම හොඳම විසඳුම වූයේ ඇය ආදරයකරනුයේ ජාවාරම් ලෝකයේ කිරුල හිමි කුමරෙකුට බව ඇය දැනගැනීමට මා අකමැති වූ නිසාවෙනි. මක්නිසාද යත් එය එසේ සිදූඋවහොත් ඇය ඇගේ ජීවිතයට මෙන්ම මුළු පිරිමි ජාතියටම සාප කරනවා නොඅනුමානය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. කවදාවත්ම ඔයා මේ විදිහට නිහඬව ඉඳල නැහැ. අනේ මට බයත් හිතෙනවා. ඔයා මොකක් හරි ප්‍රස්නෙක නේද ඉන්නෙ"
"එහෙම දෙයක් නැහැ පියුමි."
"ඒ උනාට මගේ හිතට හරි අමුත්තක් දැනෙනෙවා අයියෙ. ඔයාගෙ නිහඬබව මෙගේ හිතට ආගන්තුක හැඟීමක් එකතු කරනවා. මොකක් හරි ප්‍රස්නයක්නම් කියන්න. මම පිට කෙනෙක් නෙමේනෙ දිනුක අයියා. ජීවිතේ අපට ලැබෙන හැම දෙයක්ම දැන්ම ඉඳලම බෙදා ගමු. මේ බලන්න, බලන්න මගේ ඇස් දිහා, මගෙ පපුවට අත තියල බලන්න. මේ කෙල්ලගෙ පණ ඔයාගෙ තාලයට ගැහේවි."
"පියුමි .. මම ... ම...ම.. හම්ම්ම්.. මම ඔයාට ආදරෙයි"
"ඉතින් ඒක මම දන්නවනෙ.. අනේ මේ මොකද මේ දිනුක අයියා. ඇයි මේ ඔයාගෙ ඇස්වල කඳුලු"

මටත් හොරා මගේ දෙනතට ආ කඳුලු බිඳු කීපය මෙවර මට සඟවාගත නොහැකි වූයේ ඇගේ දෙතොල් අතරින් පිටවූ එම වචන කීමය මගේ මුළු ආත්මයම සසල කල නිසාවෙනි. මගේ ඇස් කඳුලින් පිරීමට හේතුව ඇය කීපවතාවක්ම මගෙන් විමසා සිටියද මම නිහඬව සිටියේ ඇයට ලබාදීමට ඇයව සැනසීමට මා තුල පිළිතුරක් නොතිබූ නිසාය. එමන්ම මගේ දෙනෙතේ තිබූ කඳුලු බිඳු කීපය පිස දැමූ ඇය සමාව අයදමින් මා හට තවත් තුරුළුවූයේ ඇගෙන් වරදක් උනා යැයි ඇය සිතූ නිසාවිය යුතුය. අප ගෙවනා මේ සවස් යාමයේ කාලය හිමින් හිමින් ගෙවෙද්දීත්, පිළිතුරු නොරැඳි ගැටලුන් රැසක් ඇය තුල ඉතිරිවෙද්දී, අප මුව තුලට සිනහව රැගෙන ආවේ මිට හෝරාවකට පමණ පෙර අප අසල රැඳි අලන්කාර වූ පියාපත් යුගලක් හිමි ඒ සමනළයා නැවත අප අසලට පැමීනිම නිසාය. සම්මතයන්ට අභියෝග කල අයෙකු ලෙස මා හට සමනළයාගේ නැවත පැමීනීම විෂේශ නොවුනද, අප දෙදෙනාම දුකින් සිටි නිසා හා දෙදෙනාගේම ඇස් කඳුලින් පිරී තිබූ නිසා අප සිත් සැනසීමට දේවදූතියක් විසින් එවන ලද සමනළයෙකු බව පියුමිගේ මතය විය.

නොයෙකුත් දේ සිදුවූ හා කියාගත නොහැකි ගොඩක් දේ සිතතුල හිරවී තිබූ සවස් යාමයක අවසානයේ පියුමිට සමුදුන් මා කලපුව දෙසට ගියේ අමිලටද එම ස්ථානයට ඒමට ආරාධනාවක් දෙමින්ය. මා එම ස්තානයට ලඟාවන විටද අමිල එහි සිටියේ මා දුරකථන ඇමතුම දෙන මොහොතේ ඔහු කලපුව අසල රැඳි සිටි නිසාය. නවතාතිබූ දිරාපත් වූ බෝට්ටුවකට හේත්තු වී පරිප්පු වඩ කීපයකද රස බලමින් මම අද හවස් යාමය පිලිබඳව හා මගේ හිත තුල තිබූ ප්‍රස්න රැසක් අමිලට කීවෙමි.

"ඒ කියන්නෙ යාළුවා, ඔයා පියුමිත් එක්ක තියන සම්බන්දය නවත්වන්නද හදන්නෙ"
"එහෙම නැතිව මට වෙන කරන්න දෙයක් නැහැ අමිල. මම කැමති නැහැ මම නිසා මොනව හරි අනතුරක් වෙනවට එයාගෙ ජීවිතේට"
"ඒත් යාළුවා, මම හිතන්නෙ නැහැ ඒක හොඳ විසඳුමක් කියලා"
"මම දන්නවා අමිල. ඒත් ආදරේ කියන එක මට ගැලපෙන්නෙ නැහැ අමිල. මට ආදරේ කරන අයට ඉතිරිවෙන්නෙ දුක විතරයි. ඉතින් ඒ නිසා තමා මම හිතුවෙ මේ තීරනේ ගන්න. ඊට පස්සෙ රටින් ටික කාලයකට ඈත් වෙලා ඉන්න"
"ඉතින් එහෙම උනා කියල මේ දේවල් වල වෙනසක් වෙයිද, අනික් යාළුවා, උඹ මෙච්චර දවසක් හිටියා මේ රටේ. අවුලක් උනේ නැහැනෙ. ඉතින් ඒ විදිහටම අපි මේක විසඳන්න බලමු"
"වර්ණකුලසූරිය කියන්නෙ පොළඟෙක් අමිල. මගෙ පවුලෙ අයවයි පියුමිවයි කොයි වෙලේ හරි මගෙන් ඈත් කරනවා. මම කැමති නැහැ ඒකට."
"ඉතින් දැන් උඹ ගියා කියලා, යාළුවා හිතන්නෙ වර්ණකුලසූරිය ගහන තුරුම්පුව නොගහ ඉඳියි කියලද"
"මිනිහව මම මෙල්ල කරනවා අමිල. හැබෙයි මේ රටේදි නෙමේ. රටින් පිටදි"
"මට තේරුනේ නැහැ යාළුවා. ඒත් මේ අහපන්, උඹ ඔය කරන්න හදන වැඩෙන් උඹට ගොඩක් දේවල් නැතිවෙනවා."
"කිසිම දෙයක් නැතිවෙන් නැහැ අමිල. නැති උනොත් ඒ පියුමිව විතරයි. මම ඒ චැලෙන්ජ් එකත් බාරගන්න ලෑස්තියි"
"මට උඹව තේරෙන්නෙ නැහැ යාළුවා. කරන දෙයක් පරිස්සමට."

දවසක් දෙකක් පියුමි අසල ගැවසුනද මා සිත තුල තිබූ දේ මාහට පවසා ගැනීමට නොහැකි වූයේ ඇගේ දඟකාරකම් නිසාය. මේ ආදරේ නැතිව ජීවිතයක් නැති තරම්ය. ඒ තරමටම ඇය මගේ මුලු හදවතම සොරගෙන තිබුනි. නමුත් මට මේ ආදරයේ හිමිකාරයා වීමට සුදුසුකම් මදි වූයේ මා කර ඇති පාප කර්මයන් වැඩි වූ නිසා අතර ඇය මා සමග නොමැති හෙට දිනයක් සිතනා හැම මොහතකදීම මගේ හුස්ම මදකට නැවතුන වාර ගනන අනන්තය, අප්‍රමානය. නමුත් ඇය අසලින් යාමට මට සිදුවී ඇත. නැතිනම මා මෙතුවක් කාලයකට කල සියලළුම දේ ගඟට ඉනි කැපුවා වැනිය. එමෙන්ම මට ආදර කල මා විස්වාෂ කල ගොඩක් දෙනා මට අහිමිවනවා නොඅනුමානය.

කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී මොහොමඩ් මට ලන්කාවෙන් පිටවීමට සියලුම දේ සූදානම් කලේ අප දෙදෙනාගේ සැලසුමට අනුවය. ජීවිත රක්ෂන සමාගමේ වැඩකරන කාල සීමාවේදී අඳුන ගත් යාලුවෙක් විසින් මට ලබා දුන් රැකියා අවස්තාවකට මා රටින් පිටවෙන බව මම අම්මාට කියු නමුත් ඇය එයට අකමැති වූයේ නන්නාදුනක රටක මා තනිවන නිසාත් මා තවමත් ඇගේ පොඩි පුතාත් නිසාවෙනි. නමුත් නන්ගීගේ හා තාත්තාගෙන් ලැබුනු සහයෝගය නිසා අම්මාගේ කැමැත්ත ලැබුනු අතර මා යනකම් කාටවත්ම නොපවසන ලෙස අම්මාගේ මුවින්ම පිට වූ නිසා මගේ වැඩකටයුතු තවත් සරල විය.

"පොඩි මහත්තයා, ඔයාව ඩුබායි වලදි අසීස් ගනීවි. ඔයාගෙ ජොබ් වීස එකත් තව සතියකින් දෙකකින් ලැබේවි."
"මට යන්න හිතෙන්නෙ නැහැ මොහොමඩ්.."
"මම දන්නවා පොඩි මහත්තයා. ඒ ගෑණු ළමය පොඩි මහත්තයව ගොඩක් වෙනස් කලා."
"හම්ම්ම්.. මොහොමඩ් අපේ ප්ලෑන් එකට අනුව වැඩේ කෙරෙයි නේද"
"එහෙම හිතමු පොඩි මහත්තයා. බය වෙන්න එපා. අසීස් ඉන්නවා ඔයා එක්ක එහෙදි. මම මෙහෙන් මගෙ වැඩ ටික කරන්නම් ගානට. බ්‍රයන් අද පොඩි මහත්ත්ය එක්ක හිටියනම් ..."
"ඒ ගැන මතක් කරල මගේ හිත පාරගන්න කැමති නැහැ මොහොමඩ්. වර්ණකුලසූරියවත් අයින්ම කරල දැම්මට පස්සෙ අපි හැමදාටම වෙන්වෙමු මොහොමඩ්. අපේම කියල ලස්සන හීනයක් එක්ක ජීවත් වෙමු. ජීවිතේ සමහර හීන වලට යන්න අපි කැමතිම හීනයක් අමතක කරන්න වෙනවා මොහොමඩ්"
"ඒ උනාට පොඩි මහත්තයා ඒ ගෑණු ළමය වෙනුවෙන් ආපහු එන්න. පොඩි මහත්තය යන්න කලින් ඒ ළමයගෙ හිත පුලුවන්තරම් හදන්න බලන්න. මම හිතන්නෙ නැහැ ඒක ලේසි වෙයි කියල. පොඩිම හරි බලාපොරොත්තුවක් ඒ ගෑණු ළමයට දීල යන්න. පොඩි මහත්තයට ඒ තරම් ආදරේ කරල නැතුව ඇති කවුරුවත්ම"
"හැඟීම්බර කරන්න එපා මොහොමඩ් මාව. මටත් එයා නැති දවසක් ගැන හිතන්න බැරි තරම් මොහොමඩ්. ඒත් මට ඒකට හුරු වෙන්න වෙනවා. එහෙම නොවුනොත් අපිට හිතාගන්න බැරිවෙන ප්‍රස්න රැසකට මූනදෙන්න වෙනවා, ඒ ගැන ඉතින් මොහොමඩ්ට අමුතුවෙන් පැහැදිලිකරන්න ඔන නැහැනෙ. හම්ම්ම්ම්ම්.. මම එයාට යන්න දෙන්න පුළුවන් තරමට ආදරේ කරන්නම්, මොහොමඩ්"
"යන්න දෙන්න පුළුන් තරමට .. හොඩක් ලොකු දෙයක් කියවෙන වචන ටිකක් පොඩිමහත්තයා"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..

Monday, December 14, 2015

හිතුවක්කාර ආදරය - 29 කොටස


නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත් කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන් එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ නොයෙකුත් ප්‍රස්නයන්ට මැදිව හවස ඇයව හමුවීමට දුන් පොරොන්දුවක්ද සමගය. මා කලදේට අමිලගේද එතරම්ම කැමැත්තක් නොතිබූ බව ඔහුගේ නිහඬ බවින මම තේරුම් ගත්තෙමි.

"හිරුණි දුව, දැන්වත් ඔයා විස්වාස කරනවද මම මෙච්චර දවස් මිරිඟුවක් පස්සෙ නෙමේ දිව්වෙ කියන එක"
"මටනම් මේක තවමත් ප්‍රෙහේලිකාවක් බාප්පෙ. ඔයාගෙ නම ඇහුවහම ඕන කෙනෙක් බයවෙනකොට මේ පොඩි කොල්ලෙක් එක්ක ඔයාට චැලෙන්ජ් කරනවා. මට පුදුමෙ කියන්නෙ ඔයත් නිහඬ ඉන්න එකනෙ."
"දුව හරි. මමත් හැඬල් කරන ටිකක් සන්කීර්ණ කේස් එකක් මේක. කොල්ල මොනව උනත් වැඩකාරයා. කරන කිසිම දේක සාක්ෂියක් තියන්නෙ නැහැ. මට ඕන මිනිහව විතරක් නෙමේ මිනිහගෙ වටේ ඉන්න කට්ටියත් අල්ලන්න"
"අනේ මන්දා බාප්පෙ. මට තාමත් හිතාගන්න බැහැ. හොඳ හිතක් තියන කොල්ලෙක් බාප්පෙ. පියුමි එදා ඒ කොල්ලගෙ කකුල්දෙක අල්ලල වැඳල සමාව ඉල්ලන්න තරම්..."
"ඔන්න ඔතනින්ම තමා මිනිහව කොටු කරනවනම් කරන්න ඕන. මිනිහව වට්ටන්න තියන එකම තුරුම්පුව, පියුමි"



මා සිතුවා සේම මාගේ හැසිරීම පිළිබඳව සතුටක් අමිලතුල තිබුනේ නැත. ඔහුට අනුව මා වර්ණකුලසූරිය මහතාට ඔහුගේ සැකය සාර්තක කර ගැනිමට කොනක් අල්ලා දී ඇත. අමිලගේ මතයේද මා වැරැද්දක් නොදුටුවේ එවැනිම හැඟීමක් මා සිත තුලද ඇතිවූ නිසාය.

සතිඅන්තය නිහඬව ගෙවී ගියද මාගේ සිත තරමක් කලබලකාරී ගතියකින් පසු වූයේ මට දැනුනා වූ ඒ නිහඬතාවය තුලම කිසියම් හෝ නපුරක ඉවක් මට දැනුන නිසා විය යුතුය. මගේ සිත මෙතරම්ම සැක සහිත වී කලබලකාරී ගතියකින් පසු වන්නේ පියුමි වෙනුවෙන් විතරක්ම බව මට වැටහුනද මා ඇය පිළිබඳවද සැක සහිතව සිතුවේ කෙලෙසද යන්න මම මෙගේ සිතින්ම ප්‍රස්න නැගුවෙමි. හදිසියේම පැමිනි හිරුනි නැමති චරිතය හා වර්නකුලසූරිය මහතා නිසා මාගේ අතීතය එලිවුවහොත් මාගේ ජීවිත කතාවම කණපිට පෙරෙලනවා නොඅනුමානය. ජාවාරම් කරුවෙකු මෙලොවට බිහි කලායැයි මෙගේ අම්මා තාත්තා සමාජයේ නොයෙකුත් තාඩන පීඩන වලට මුහුන දෙනවා ඇත. නන්ගීට හොඳ තැනකින් විවාහයක්වත් කරගැනීමට නොහැකිවනවා සේම මගේ යාළුවන්ටද මා ජාවාරම් කාරයෙක්, මිනීමරුවෙක් වනවා නොඅනුමානය.

මාගේ දින චරියාව දෙස කවුරුන් හෝඉ බලා සිටීදැයි මා සිතට සිතුනද මා යන එන තැන් කවුරුන්හෝ බලා සිටීදැයි සිතුනද මා මදකට ඒ සිතුවිල්ල වසන්කර මොහොමඩ්ව හමුවීමට ඔහුගේ නිවසට ගියේ කෙවින් පිළිබඳව තීරනයක් ගැනීමටය. මක් නිසාදයත් ගෙවීගිය සති අන්තයේ එක දිනයක ඔහු ඔහුගේ මිතුරන් සමග පියුමිගේ නිවස අසල ගැවසෙනවා ඇය දැක ඇති අතර පියුමි ඇය්ගේ මව හා වෙළඳපොලටද ගිය අවස්තාවේද ඔවුන් ගැවසූ බව ඇය මට කීවා මතකය. මොහොමඩ්ටද කුමක් කල යුතුද යන්න සුපැහැදිලි දසුනක් නොතිබූ අතර ඔවුන්ද දේෂපාලන ආරක්ෂාව ඇතිව මත්ද්‍රවය බෙදාහැරීම පටන් ගෙන ඇති බව මොහොමඩ් මා හට පැවසුවේ මෙතෙක් වෙලා අප දෙදෙනා අතර දෝලනය වූ ප්‍රශ්න කීපයකට පිළිතුරක් ලෙසය. අප පරනම මිතුරෙකු වූ ප්‍රසන්න මාර්ගයෙන් මෙමෙ තොරතුර ඔහුට දැනගැනීමට ලැබී තිබූනිසා එහි නිරවද්‍යය බාවය පිළිබඳව අප දෙදෙනාටම සැකයක් නොතිබූ තරම්ය. කෙවින්ව මගේ ජීවිත කතාවෙන් සැලකියයුතු කාලයකට ඈත්කර තිබීමට අපට හමුවූ හොඳම අවස්තාව මෙය විය. අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ අප දෙදෙනා සැලසුම් කලේ කෙවින්ව මත්ද්‍රවයය සමගම පොලීසියට කොටුකර දීමය.

"එහෙනම් අපි කතාකරගත්ත විදිහට කරමු මොහොමඩ්. අපේ පාර්සලේ මිනිහට දෙන්න. මිනිහ ගනුදෙනු කරන වෙලාව දින ප්‍රසන්නගෙන් දැනගන්න. ඊට පස්සෙ අපේ මිනිහව යවන්න. ගනුදෙනුව කරන්න. "
"මම හිතන්නෙ නැහැ පොඩි මහත්තයා කෙවින් අපේ මිනිහ එක්ක ගනුදෙනු කරාවි කියලා. අලුත් සෙලර් කෙනෙක් එක්ක ගනුදෙනුව කරයිද මිනිහා"
"බයවෙන්න එපා මොහොමඩ් මිනිහ ගනුදෙනුව කරනවා. මොකද මේ ටිකේ බඩු අඩුයි. අනික අපි ගාව තියෙන්නෙ එදා ජර්මන් කාරයට යැව්ව ඒවලින් කොටසක්. ඉතින් අපේ බඩු හොඳයි. අනික ටිකක් වැඩිපුර තියනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙවින් මේ ගනුදෙනුව කරනවා. මොකද මිනිහට බඩු ඕන"

අප නොසිතූ ලෙස ටික කාලයක් ගෙවීගියද අප දෙදෙනා සැලසුම්කල ආකාරයටම ඉතා ලෙහෙසියෙන් කෙවින් සමග අප යැවූ පුද්ගලයා ගනුදෙනුව කර තිබූ අතර මොහොමඩ් මේ සඳහා යොදාගෙන තිබුනේ හලාවත ප්‍රදේෂයේ පදින්චි කසුන් නැමති අයකුය. ඔහු එන්ගලන්තයේ ඉගනීමට යාමට ආසාවෙන් හිටි අතර නිවසේ වූ ආර්ථික අපහසුතා නිසා ඔහුට එම අවස්තාව මගහැරී ඇත. මෙම අවස්තාවෙන් ප්‍රයෝජන ගත් මගේ සගයා බලලුන්ලවා කොස් ඇට බා ඇත්තේ හරි අපූරුවටය.

"පුතේ .. පුතේ .."
"මොකද තාතේතෙ.. මොකද අවුල"
"මේ අර එපාම කරපු එකෙක් ඉන්නෙ ටවුන් එකේ හැම වෙලේම. කෙවින්. මිනිහ එක්ක ඔයාගෙ ගනුදෙනු එහෙම නෑ නේද"
"කෙවින්ව මම දන්නවා. ඒත් ඉතින් ඔය තාත්ත කියන ගනුදෙනු කරන්න තරම් මිනිහ එක්ක මම සම්බන්දකම් නැහැ. ඔයා දන්නවනෙ මට ඒ දවස්වල ඉඳලම මිනිහව දිරවන් නැහැ කියල. මොකෝ මේ හදිසියෙම කෙවින්ව අල්ලගෙන"
"කෙවින්ව ඊයෙ පොලිසියෙන් අල්ලල, ගන්ජ පාර්සලයක් එක්ක"
"නෑ ... තාත්ත කොහොමද දන්නෙ"
"මේ නිවුස් වලට කිව්වෙ. නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිල තමා පොලීසිය ඉවකරන් ගිහින් තියෙන්නෙ. බඩුත් එක්කම අල්ලල තියෙන්නෙ. හොඳම වර්ගයේ ඒවලු. සමහරවිට මිනිහ පිටරටකින් ගේන්න ඇති. එලියට එන්න වෙන්නෙ නැතිවෙයි කාලෙකට"
"කෙවියත් මාර වැඩනෙ තාත්තෙ කරන්නෙ"
"මම මේ බයේ හිටියෙ තමුසෙත් එක්කත් යාළුකම් පවත්වනව ඇති කියලා. ඇයි ඉතින් කොයි වෙලේ බැලුවත් ටවුන් එකේ රස්තියාදුකාරයො එක්කමනෙ ඉන්නෙ."

අප සැලසුම් කල ආකාරයටම සියලුදේ සිදුවී තිබුනද මට එක හිසරදයක් වූ කෙවින්ගේ කරදරයෙන් මිදීමට හැකි උවද මා තාත්තා ඉදිරියේ රඟපෑ අහින්සක බොරු චරිතය මසිත රිද්දන්නට විය. නමුත් මේ ජීවන ගමනේ තවෙකුව සතුටු කිරීමට නැතිනම් තම්න් සතුටුවීඅට එසේත් නැතිනම් ජීවිතය ජීවත් කරවීමට ජීවිතය නැමති රඟ මඩලේ අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නොයෙකුත් චරිත රඟපෑ යුතුබව මා විස්වාසකල නිසාද මා ඒ දෙය අද්විඳ ඇති නිසාද තාත්තා ඉදිරියේ මගේ සිතට ආ විස්තරාත්මකව ඉදිරිපත් කල නොහැකි ඒ වේදනාකාරී සිතුවිල්ල මට යටපත් කරගැනීමට හැකි විය.

සිතට නැගුනු නොයෙකුත් සිතිවිලි අතරේ මා මගේ ස්කූටියට ගොඩ වූයේ පියුමිව හමුවීමට යාමටය. තාවකාලිකව හෝ පියුමිට කෙවින්ගෙන් කරදරයක් නොවන බව හැඟීම සිතට සැනසිල්ලක් ගෙනදෙන්නා වූ කරුනක් විය. වෙනදා මෙන් නොව මගේ සිතට තරමක සැහල්ලු බවක් දැනුනද හදිසියේම අප ප්‍රදේෂයේ නමගිය රෙදි සාප්පුවකට ඇතුලු වූ හිරුනිව දැකීම නිසා මගේ සිතට නැවතත් හිතුවක්කාර සිතුවිලි ගලා ආවේ මට නොදැනිවමය.

"හායි හිරුණි.."
"දිනුක .. "
"කොහොමද ඉතින් ඔයාට.."
"මොකද මේ කවදාවත් නැති සොෆ්ට් මූඩ් එකක්. කියන්න දෙයක් තියනවනම් කෙලින්ම කියන්න. අනික ඔයා මොකද මේ ලේඩිස් සෙක්ෂන් එකේ කරන්නෙ"
"තහනම් නැහැනෙ ඉතින් අපිට මේ සෙක්ෂන් එකට එන්න.. ආ තව ටිකෙන් අමතක වෙනවා. ඔයාගෙ බාප්පට පනිවිඩයක් තියනවා මගේ ළඟ"
"මගේ බාප්පට.. ඒ මොකක්ද"
"ඉමාෂ තාමත් මගේ හිතේ කොනක ඉන්නවා කියන්න. ඒ වගේම ඉමාෂා එයාගෙ තාත්තට වඩා මට ආදරේ කලා කියල කියන්න"

මා හිරුණිට පැවසීම්ට සූදානම්ව සිටියේ කෙවින් පිළිබඳ උවද අවසාන මොහොතේ මා මගේ අදහස වෙනස් කර වෙනස්ම දෙබස් කීපයක් ඈ හා දෙඩුවේ මගේ හිතුවක්කාර සිතුවිලි මදකට පාලනය කරමින්ය. කෙසේ නමුත් මා එම ස්තානයෙන් ඈත්ව යන තුරුම හිරුනිගේ දෙනෙත් මා වෙතම යොමු වී තිබූ අතර කුතුහලයෙන් පිරි ඇගේ දෙනෙත් කී කතාව මා හටද තේරුම් ගැනීමට අපහසු විය.

"මොනාද දිනුක අයියා. මම් ඇවිල්ල විනාඩි විස්සක් විතර වෙනවා. මාව මෙහෙම මෙතන තනිවම තියන්න ඔයාට පව් නැද්ද අනේ"
"හරි හරි කෙල්ලෙ. විනාඩි විස්සනෙ. ඔයාගෙ යාළුවා හිරුණිව මීට් උනා ෆැෂන් බග් එක ගාවදි. ඒකයි පරක්කු උනේ"
"ම්ම්ම් .. මේ ඒක නෙමේ කෙවින්ව පොලිසියෙන් අල්ලල නේද. බලන්න අනේ කොල්ලො කරන ඒව. මොකටද අනේ ඔය ජරා බිස්නස් කරන්නෙ. අනික ඒ කොල්ලට මොනවගෙන්ද අඩු"

පියුමි සමග ගතකිරිමට ලැබූ එම විනාඩි කීපය තුලත් කෙවින් කතානායක බවට පත් වීම මගේ හිතට වාවන් නැති උවද ඇගේ හිත රිද්දීමට අකමැති වූ නිසා ඇගේ තුබුනා වූ සියලුම ප්‍රස්න මම හැකි අයුරින් නිරාකරණය කර දුන්නෙමි. පියුමිට තිබූ ප්‍රස්න සියල්ලම කෙවින්ට තිබුනානම් කෙවින් අද මේ වන විට ස්වාමින් වහන්සේ නමක් හෝ පූජකයෙක් වනවා නොඅනුමානය. වෙනදා මෙන් නොව අද පියිමිගේ තොර තෝන්චියන් නැතිව කියවීම මට හිස රදයක් වූයේ එහි වැඩි හරියක්ම කෙවින් පිළිබඳද මත්ද්‍රවය වලින් මිනිස් ජීවිත වලට වන හානිය පිළිබඳවද අඩන්ගු වූ නිසාය. එම නිසා බොරු හිසේ කැක්කුමක් මවා ගත් මා ඇයව නිවසට ඇරලවා මම ද නිවසට ගියේ සුවනින්දක් බලාපොරොත්තුවෙනි. නමුත් මා නිවස අසලට පැමිනෙනවාත් සමගම පොලිස් නිල රථය අප නිවස අසල නවතා තිබීම නිසා මා විමතියට පත් වූ අතර එය වර්ණකුලසූරිය මහතාගේ නිල රථය බව හඳුනාගැනීමට මට එතරම්ම වෙලාවක් ගත නොවුනි.

"අම්මෙ.. මොකද මේ පොලීසියෙන්. ඇයි මේ ඔයාලගෙ ඇස් වල කඳුලු. මොකද උනේ මෙතන"
"බය වෙන්න එපා පුතේ. මොකුත් උනේ නැහැ. මේ වර්ණකුලසූරිය මහත්ත්ය ඇවිල්ලා ඔයාව බලන්න. ඉතින් අපිට ඉමාෂව මතක් උනා."
"ඒකද මේ කඳුළු.. ඉතින් කොහොමද අන්කල්... කොහොමද වැඩකටයුතු"
"මම හොඳින් ඉන්නවා පුතා. ඔයාට කොහොමද"

නොසිතූ මොහොතක වර්ණකුලසූරිය මහතා අප නිවසට පැමිනීම මගේ හිතට එතරම්ම දිරවූයේ නැතත් ඔහු ඉබේම මෙහි නොපැනි බව මම හොඳාකාරවම දැන සිටියෙමි. මක්නිසාද යත් ගෙවුනු අවුරුදු කීපයටම ඔහු අම්මා සමග දුරකථනයෙන් කීපවරක් කතා කලා මට මතකය. ඒ හැම මොහොතකදීම අම්මාගේ දෙනෙත් කන්දුලු වලින් පිරී ගියේ ඉමාෂාගේ මතකයන් නිසාය. මා හැරුනුකොට ඉමාෂාට මටත් වඩා ආදරය දැක්වූ අයෙකු සිටීනම් ඒ අපේ අම්මාය.

"ඉතින් පුතා. මොනවද තොරතුරු.. ඔයාගෙ පණිවිඩය මට ලැබුනා. ඒකයි ටිකක් ඇවිල්ල යන්න හිතුවෙ"
"මම දන්නවා අන්කල්. නැතිනම් ඉතින් ඔයා හදිසියේම එන්නෙ නැහැනෙ අපේ ගෙවල් පැත්තෙ"
"ම්ම්ම්ම්.. සමහර විට පුතා මාත් එක්ක තරහ ඇති. ඔයා මගෙ දුවට ආදරේ කරපු බව ඇත්ත. ඒත් මට ඔයා ගැන තියන සැකය නැතිවෙන්නෙ නැහැ. මම දන්නවා ඔයා අපි මේ සේරටම වඩා ඉස්සරහින් ඉන්න චරිතයක් කියලා. හැබැයි සමහර විට මගේ සැකය වරදින්නත් පුලුවන්"
"මම දන්නෙ නැහැ අන්කල් ඔයා මේ මොනවා කියනවද කියලා. හැබයි එකක් ඇත්ත අන්කල් කිව්ව ඒවලින්. මම ආදරය කරුණාව මනුස්සකම අතින් ඔයාල හැමදේකටම වඩා ඉස්සරහින් ඉන්නවා"
"මමමොකක්ද කියන්නෙ කියල දිනුකගෙ හිත දන්නවා ඇතිනෙ. මට තාමත් හිතා ගන්න බැහැ ඇයි මම ඔයාව අත් .... ඕන නැහැ ඒ කතා. මම අද පියුමි දුවව දැක්කා. "
"පියුමි.. ඒ කොහෙදිද"
"මම අද තමා එයාව හරියට දැක්කෙත්. එයා ඉමාෂා වගේමයි නේද. මම එයාගෙන් ඉමාෂව දැක්කා. මම හිතනවා ඔයා ඒ නිසා වෙන්න ඇති කියලා ඒ කෙල්ලට ඔච්චරම ආදරේ. ඉතින් ඒ නිසා තමා මම ආවෙ ඔයාට පණිවිඩයක් දීල යන්න"
"ඒ මොකක්ද අන්කල් .."
"මගේ මේ යුනිෆොම් එකේ මේ එල්ලෙන කෑලි ලැබුනෙ අකාලෙට නෙමේ දිනුක. ඒ නිසා මම දන්නවා මම මේ දුවන්නෙ මිරිඟුවක් පස්සෙ නෙමේ කියලා."
"මට තේරෙන් නැහැ අන්කල් ඔයා මේ මොනවද කියන්නෙ කියලා"
"මම අද ඒ පියුමි දුවගෙන් මගේ දුව ඉමාෂව දැක්ක් නිසා කියන්නෙ, දිනුක ඔයා මේ යන්න හදන ගමනට ආයුෂ අඩුයි. ඒ නිසා අලුත් මාර්ගෙක යන්න. නැතිනම් පියුමිට යන්න දෙන්න"

මා හට එසේ පැවසු ඔහු සුළුමොහොතකදී අප නිවසේ සියලු දෙනාටද සමු දී ඔහුගේ නිල රථයට නැගී න්පෙනී ගියේ මා හට නැවතත් හිතන්නට යමක් ඉතිරි කරමින්ය. සුපුරුදු ලෙස මා මාගේ ඇඳ මතට වී නිදා ගැනීමට උත්සහ කලද මට එය තරමක් අපහසු කාර්යයක් වූයේ 'මම පියුමි දුවගෙන් ඉමාෂව දකිනවා, ඔයා අලුත් මාර්ගයයක යන්න නැතිනම් පියුමිට යන්න දෙන්න' ඔහු පැවසූ මෙම වචන කීපය මගේ සිතතුල රැව් දුන් නිසාය.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...